Tuesday, March 27, 2012


කැමරා කාච ගැන දැනගනිමු. photography lesson


සාමාන්‍ය ඩිජිටල් කැමරා මෙන් නොව SLR කැමරා වල කාච ගැලවීමේ හැකියාව තිබෙනවා. එමනිසා අපට අවශ්‍ය මොහොතක අවශ්‍ය කාචයක් භාවිතා කර ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අපගේ ඡායාරූපයට ගැලපෙන කාචය තෝරාගත වෙනවා. ඒ සඳහා මෙම ත්‍රෙඩ් එක උදව්වක් වේයැයි මම සිතනවා.






කාච වර්ග.
සාමාන්‍ය සම්මත කාච (normal/standard lenses)
පුළුල් කෝණ කාච (wide angle lenses)
දුර සේයා කාච (telephoto lenses)
යුමුහු කාච (zoom lenses)
මැක්‍රෝ කාච (macro lenses)
මයික්‍රෝ කාච (micro lenses)

නාභි දුර (focal length)
ප්‍රධාන කාචයේ සිට නාභිතලයට(image sensor) ඇති දුර වේ. පහත රූපසටහනින් එය පැහැදිලි වේ.

උදා:- 24mm, 28mm, 50mm, 135mm, 300mm

දර්ශන කෝණය. (angle of view)
කාචයේ සිට නාභියට ඇති දුර අනුව ලබාගත හැකි රූපරාමුවේ ප්‍රමාණය දර්ශන කෝණයයි. නාභිදුර අඩු වන විට දර්ශන කෝණය වැඩිවන අතර නාභිදුර වැඩිවන විට දර්ශන කෝණය අඩු වේ. පහත රූපසටහනින් එය පැහැදිලි වේ.


නාභියේ දුරට අනුව කෝණය
8mm - Fish Eye - 180'
24mm - Wide Angle - 84'
135mm - Telephoto - 18'
1200mm - Super Telephoto - 2'





                                                                                    මෙය මා හට ආ ඊමේල් එකකින් උපුටා ගන්නා ලදී.. 

Monday, March 26, 2012


                             ::: පිළිකුත්තුව රජ මහා වෙහෙර ::::..

ඒ වන පෙත සොඳුරුය. තවමත් නොඉඳුල්ය. වන සතුන්ගේ හඬින් නිතර පාළුව මැකේ. රූස්ස ගස් වැල් වනයේ ජීව ගුණය පසක් කරමින් යෝදයන්ගේ අඩවියක බඳු සිතිවිලි දකිනවුන්ට ජනිත කරවයි. මේ වන පෙත මායිමේ සැදැහැවතුන්ගේ නෙත් සිත් පහන් කරන ඓතිහාසික පුද බිමකට අපි අද ‘රජමහ වෙහෙරක කතාවෙන්’ ඔබ කැඳවාගෙන යමු.
ලක්දිව ලෙන් විහාර සම්ප‍්‍රදාය තුළ පිළිකුත්තුව රජ මහා විහාරය මුල් තැනක් උසුලයි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ ඌරුවල් පේරුවෙහි මේ ඓතිහාසික පින්බිම පිහිටා තිබේ. ගම්පහ - කිරිඳිවැල (231) බස් මාර්ගයේ යක්කල හන්දියේ සිට විහාරයට දුර කිලෝ මීටර් තුනක් පමණ වේ. පිළිකුත්තුව විහාර ඉතිහාසය ක‍්‍රි.පු. පළමු වැනි සියවසතෙක් දුරාතීතයට දිවේ. අනුරාධපුර යුගයේ මුල් සමයේ සිටම භික්ෂූන් වහන්සේලා භාවනායෝගිව වැඩ සිටි ස්ථානයක් හැටියට පිළිකුත්තුව හඳුනා ගත හැකිය. කටාරම් කෙටූ ගල් ලෙන් 99 ක් මේ විහාරය අවට වනගත බිමේ පිහිටා ඇති අතර එයින් ගල් ලෙන් 82ක් දැනට සොයාගෙන තිබේ. මෙපමණ ගල් ලෙන් ප‍්‍රමාණයක් දැකිය හැකි ලංකාවේ දුර්ලභ ස්ථානයක් හැටියට පිළිකුත්තුව විශේෂ වෙයි.
මේ ලෙන්වල ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇති බව ඉතිහාසඥයෝ ප‍්‍රකාශ කරති. එසේම අනුරාධපුර, මිහින්තලය ආදී පෞරාණික වෙහෙර විහාරවල පැවතියාක් මෙන් විහාරාරාම සැලසුම් හා උද්‍යාන කලාවක් පිළිකුත්තුවේ පවතින්නට ඇති බවට පුරාවිද්‍යාඥයෝ අදහස් පළ කරති.
මේ ප‍්‍රදේශය පිළිකුත්තුව වූයේ කෙසේද? ඊට මත කිහිපයක් පවතී. අතීතයේ රජවරුන්ට ‘පිළි’ සැපයූ ගම්මානය නිසා පිළිකුත්තුව විනැයි එක් ජනප‍්‍රවාදයකි.
එසේම, පිළිකොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පන් කොටුව, බිලිගහ කොටුව යන කොටු පහ එකතුව පිළි කොටුව වී පසුව පිළි කොත්තුව, පිළිකුත්තුව වූ බව තවත් මතයකි.
මේ විහාර ඉතිහාසයට සම්බන්ධ වළගම්බා රජුගේ බිසෝව පරිහරණය කළ පිළි හා රන්, රිදී මුතු මැණික් සඟවා තැබූ ගම ‘පිළි සැඟවූ ගම’ පිළිකුත්තුව වී ඇති බවද ජනප‍්‍රවාදයේ එන මතයකි.
පිළිකුත්තුව රජ මහා විහාරයේ ප‍්‍රධානම ගොඩනැගිල්ල ලෙන් විහාරයයි. අතීතයේ භික්ෂුන් වහන්සේලා මෙහි භාවනා යෝගීව වැඩ සිටි බවත් පසුව එය බුදු මැඳුරක් බවට පත්ව ඇති බවත් විශ්වාස කළ හැකිය. එය කටාරම් කෙටූ සුවිශාල ගල් ලෙනකි. මෙහි විශාල සැතපෙන පිළිමයක් සමාධි පිළිමයක්, හා හිටි පිළිමයක් දැකිය හැකිය. මෙහි නුවර යුගයට අයත් සිතුවම් රාශියකි. ඒ අතර වෙස්සන්තර, මහාකප්ප හා ධර්මපාල ජාතක කතා ප‍්‍රකටය.
විහාර ගෘහයට පිවිසෙද්දී දොරටුව අභියස ඇඳ ඇති දොරටු පාල රූප දකිද්දි පෘතුගීසි සමයේ සෙබළුන්ගේ ස්වරූපය සිහියට නංවයි. ක‍්‍රි.පු. පළමුවැනි සියවසට අයත් සෙල් ලිපියක් පිළිකුත්තුව විහාරයෙන් හමුවී ඇති අතර මේ සෙල් ලිපි වලින් කියැවෙන්නේ සතර දිගින් වඩින සංඝයාට මේ ලෙන් පූජා කර ඇති බවය. ඒ අනුව අතීතයේ පටන් මේ ප‍්‍රදේශයේ බුදු දහම පැතිරී පැවති බවට පැහැදිලි සාක්ෂි හමු වේ.
පැරණි විහාර ගෙට ආසන්නයේ නා පෙණ හැඩැති ගල් ලෙන යට ඉදි කළ කුඩා ස්තූපය නුවර යුගයට අයත් වූවකි. ඊට ඉදිරියෙන් ඉපැරණි බෝධීන් වහන්සේලා දෙනමක් රෝපිතය. එයින් එකක් ‘කුමර බෝධිය’ වශයෙනුත් අනෙක ‘කුමරි බෝධිය’ නමිනුත් හැඳින්වේ. මෙයින් කඳ මහත්ව තනි කෙළින් උසට වැඩුණු බෝධිය කුමර බෝධියයි. පහළින් අතු විහිද කුඩා බෝධිය ‘කුමරි බෝධිය’ යි.
පිළිකුත්තුව විහාරයේ අසල ගිරි ශිඛරයට නැගීමට ඇති කෙටි අඩි පාර පාමුල පිහිටි තවත් විහාර මන්දිරයකි. එය කරවා ඇත්තේ විහාරයේ වැඩ සිටි යාගොඩ ගුණරත්න හිමිගේ සමයේදීය.
පැරණි ධර්ම ශාලාව අසළින් පහළට ගිය විට කාල පරිච්ජේද තුනකට අයත් ආවාස ගෙවල් දැකිය හැකි දුර්ලභ විහාරයක් හැටියට ද පිළිකුත්තුව රජ මහා විහාරය හඳුනාගත හැකිය.
ඒවා ඉංග‍්‍රීසි පාලන සමය, මහනුවර රජ සමය හා ඕලන්ද සමයට අයත් ය. ඒ ඒ කාල සමයන්වලට අදාළ විශේෂ ගෘහ නිර්මාණ ලක්ෂණ ද ඒවායින් දැකිය හැකිය.
මේ විහාරයේ ඇති ඉපැරණි කෞතුක වස්තූන් අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් පරිහරණය කළ දෝලාව විශේෂ වේ. උන්වහන්සේ ධර්ම දේශනයකට දෝලාවෙන් මෙහි වැඩම කර ඇති අතර ආපසු තිරික්කලයෙන් වැඩි නිසා දෝලාව මේ විහාරයේ තබා ගොස් ඇත. එය අදත් දැකිය හැකිය. පැරණි පුස්කොළ පොත්, මහනුවර යුගයට අයත් දැව පාලමක්, තොප්පි ගල්ගෙය, මේ ඓතිහාසික විහාරය, නැරඹීට එන ඔබට දැක බලා ගැනීමට පිළිවන.
පිළිකුත්තුව රජමහා විහාරය පිහිටා ඇත්තේ වන ගහනයෙන් ගැවසී ගත් විශාල ගිරි ශිඛරයක් පාමුලය. මේ ස්වභාවික පිහිටීම නිසාම දේවානම්පියතිස්ස රජ සමයේ ආරණ්‍යයක් හැටියට මෙය පැවැති බවත්, වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් හැටියටත් ප‍්‍රසිද්ධව තිබේ. දැනට පිළිකුත්තුව විහාරය පූජා නගරයක් කිරීමට කඩිනම් වැඩ කටයුතු සිදු කරගෙන යන බව විහාරාධිපති කිණිගම ආනන්ද හිමියෝ අපට පැවසූහ. දැනට වාහල්කඩ නිමාකර ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගිරි ශිඛරය නැගීමට පෙත්මග ඉදිකරමින්ය.
සුවිසල් ගල් කුළු නැග ඉහළට යද්දී යෝධ පුස්වැලද ඔබට දැකිය හැකිය. එසේම හොර, මිල්ල, වල් දෙල්, රුක් අත්තන, හුළං හික්, ගැඩුම, කොළොං, යකඩ මරං, හොර, කළුවර ආදී වටිනා දැව වර්ගද, මී, මාදං. නවාහන්දි, අහු, ඉරිවේරිය, ඇත් දෙමට, තොටිල්ල, මඟුල්කරද, බිං කොහොඹ ආදි වටිනා ඖෂධ වර්ග ද පැළද දැකිය හැකිය. වනගත භූමියක් නිසාම කුරුලූ වර්ග 80 ක් පමණ පිළිකුත්තුව අවට ප‍්‍රදේශයේ ජීවත් වන බව කියැවේ. විශේෂයෙන් පිළිකුත්තුව ප‍්‍රදේශයට ආවේණික ‘ඩුකුලා’ නම් පක්ෂියෙක් පිළිබඳව තොරතුරුද මෙහි ගිය විට ඔබට අසා දැක ගත හැකිය. ඌ හැඞීමෙන් නුදුරු කළදීම ප‍්‍රදේශයේ මරණයක් සිදුවේය යන්න අදත් ගම්වාසීහු විශ්වාස කරති.
පිළිකුත්තුව රාජ මහා විහාරය ඔබ දැක බලා ගත යුතුව, පාරිසරික, ඓතිහාසික අතින් වැදගත් පුද බිමෙකි. විශේෂයෙන් පාසල් දුවා දරුවන්ට, තරුණ ගවේෂකයන්ට පිළිකුත්තුව රජ මහා විහාරය හා ඒ අවට ගම්මානය කදිම තෝතැන්නකි. වඳින්නට, සොයන්නට, නරඹන්නට ඔබටත් පිළිකුත්තුව රජ මහා විහාරයට පැමිණීමට අවස්ථාව උදා වේවා!

සටහන හා ඡායාරූප - අසංක ආටිගල






පැරණි විහාර ගෙය







ඉපැරණි සිතුවම්




විහාරාධිපති කිණිගම ආනන්ද හිමියෝ සහ විහාරයේ භාරකාර හිමි



යෝධ පුස්වැල



පැරණි විහාර ගෙයි බුද්ධ ප‍්‍රතිමාවක්



නුවර යුගයට අයත් දැව පාලම






මෙය මා හට ආ ඊමේල් එකකින් උපුටා ගන්නා ලදී..  

Thursday, March 22, 2012



නෑකම් නොදත් සිංහලයෝ




මඟුල් තුලාවක්, අවමංගල්‍යක්, දානයක්, පිරිතක් ආදී කටයුත්තකදී ඕනෑම නිවසකට රැස්වෙන පළමු පිරිස තමයි ඒ නිවැසියන්ගෙ ඥාතීන්. ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා, බෑනලා, ලේලිලා, නෑනලා, මස්සිනාලා ආදී වශයෙන් අපට නෑකම් ගොඩයි. අතීතයේ කෘෂි ආර්ථිකයත් එක්ක ඊනියා පුංචි පවුල රත්තරං කියන සංකල්පය ගැලපුණේ නෑනෙ. ඉතිං පවුලක සාමාජිකයන් ගණන හා සාපේක්ෂව නෑදෑ පිරිවර සංඛ්‍යාත්මකව ඉතාම ඉහළයි. ඒ වගේම අඹු සැමියන් දූ පුතුන්ගෙන් ඇරැඹෙන හෙළ ඥාතී නාමාවලිය ඥාති තනතුරු පනස් හයක් දක්වා ව්‍යාප්ත වෙන බව පර්යේෂකයින් සොයාගෙන තියෙනවා. මඟුල් තුලාවක් ආවහම විටෙක මුළු ගමටම බුලත් දෙන්න වෙන්නෙ මුළු ගමේ හැම ගෙදරක් එක්කම මොකක් හරි නෑ කමක් තියෙන නිසයි. අවමංගල්‍යයකදි උනත් නෑයො රැස්වෙන්නෙ එහෙමයි. මඟුලකට, මරණයකට නැති නෑයන්ගෙන් වැඩක් නැහැ කියලා කතාවකුත් ව්‍යවහාරයේ එන්නෙ නෑයන්ගෙ මේ එකමුතු බව, බැඳීම දුකේදි මෙන්ම සැපේදිත් එකලෙස පැවතිය යුතුයි යන්න පෙර සමාජයේ සම්මතයක් ලෙස පැවතුන නිසයි. එච්චර නෑයො ඉදලත් අපේ පැරැන්නො නිසියාකාරව නෑකම් පවත්වාගෙන ගියා. ඒ වගේම ගරු නම්බු දීලා නිසි අයුරින් නෑයන් ඇමතුවා.මේ ලිපිය යන්නෙ කොයි අතටද කියලා පාඨක ඔබට දැන් හිතාගන්න පුළුවන් ඇති නේ? අද අපි කතා කරන්න යන්නෙ වර්තමානයේ අපේ නෑකම් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙන ආකාරය ගැන. මෑතක් වෙනතුරුම කෙනෙක් තමන්ගෙ පියාගෙ සහෝදරයන්ට කතා කලේ මහප්පා, බාප්පා කියලා (මෙම ක්‍රමය අදටත් බොහෝ සිංහල පවුල් වල දක්නට ලැබෙන බවත් සඳහන් කරන්න ඕනෙ). මවගෙ සොයුරන් ඇමතුවේ මාමා කියලා. මවගේ සොයුරියන් ලොකු අම්මා හෝ පුංචි අම්මා වෙනකොට, පියාගේ සොයුරියන් නැන්දා උනා. නමුත් අද අමුතුවෙන් ඊනියා ගෝලීයකරණය වෙන්න දඟලන, බටහිර කරණය වෙමින් නාගරීකරණය වූ සමාජයේ පවුල්වලින් ඉහත කී නෑකම් සියල්ල ඉවත් වෙලා ඒ වෙනුවට ඇන්ටිලා අංකල්ලා පවුලට එකතු වෙලා.”මේ ඉන්නෙ මගෙ අංකල්” කිව්වම මේ කියන්නෙ කවුරු ගැනද කියලා කාටද හිතාගන්න පුළුවන්. නමුත් “මේ මගේ මහප්පා” කියල කිව්වොත් ඒ කියන්නෙ එම පුද්ගලයාගෙ පියාගෙ වැඩිමල් සහෝදරයා හෝ මවගේ වැඩිමල් සොයුරියගේ සැමියා ගැන බව අසන්නාට පහසුවෙන් වටහාගන්නට පුළුවන්. ඊලඟට ඥාති සොයුරන් ගත්තත් නෑනලා, මස්සිනාලා ලෙස ඔවුන්ව හඳුන්වනවා. ඇවැස්ස නෑනලා මස්සිනාලා අතර විවාහයන් පවා සම්මතයක් ලෙස සැලකුණා.


වර්තමානයේ එම චාරිත්‍ර විවිධ හේතු මත අපෙන් ගිලිහෙමින් පැවතුණත් ඥාති සොයුරන්ට තම සහෝදරයන්ට මෙන් සැලකීම අප පවුල් වල කවදත් පැවති දෙයක්. ඔවුන්ටත් තම සහෝදරයන්ට මෙන්ම අක්කෙ, අයියෙ, නංගියෙ, මල්ලියෙ කියලා අපි කතා කරන්න පුරුදු වෙන්නෙ ඒ නිසයි. අද බොහෝ දෙනාට නෑනලා මස්සිනාලා තබා අයියලා අක්කලා වත් නැහැ. ඉන්නෙ කසින්ස්ලා. බොහෝවිට ඥාති සහෝදරයන් හා තමන්ගෙම සහෝදරයන් පවා අමතන්නෙ ඔවුන්ගෙ නම් වලින් මිසක් නෑකමෙන් නෙමෙයි. ඒ වගේම නෑකමට නැන්ද හෝ මාමා කෙනෙක් වෙන, එහෙත් වයසින් එතරම් වැඩිමල් නොවන නෑයන්ට අක්කෙ, අයියෙ කියන්නත් ඇතැම් දරුවො පුරුදු වෙනවා. පෙලක් තරුණ නැන්දලා මාමලත් කැමති නැහැනෙ නිවැරදි නෑ කමින් කතා කරනවට. ඉතිං ඔවුනුත් තම ඥාති දරුවන්ට නංගි මල්ලි කියමින් ඊටම අනුබල දෙනවා. මීටත් වඩා භයානක තත්වය තමයි බටහිර පන්නයට තමන්ගෙම සහෝදර සහෝදරියන්ටත් නම කියලා කතා කරන එක. පවුලෙ දෙමව්පියන්ට පසුව ගෙදරක වගකීම මෙන්ම අනෙක් සහෝදරයන්ගෙ වගකීමද පැවරෙන්නෙ වැඩිමල් සොහොයුරාට හෝ සොහොයුරියට. බාල සහෝදරයන් වැඩිමල් සහෝදරයන්ට සැලකුවෙත් ඒ ගෞරවයත් එක්ක. සහෝදරයන් අතර තියෙන බැඳීම ඉහත සඳහන් හැම බැඳීමකටම වඩා වෙනස්, ශක්තිමත්. නමුත් ඒ අයටත් නම් වලින් අමතලා යාළුවන්ගෙ ගානට දැම්මොත් ඒ බැඳීම්, ගෞරවය, ආදරය නැතිවෙලා යනවා. ගෞරවය ගැන කියද්දි කතා කරන්න ඕන ප්‍රධානම කරුණක් තමයි දෙමාපියන් හා වැඩිහිටියන්ට කතා කිරීම. දෙමාපියන්ටත් ඔයා, මෙයා, හලෝ කියන දරුවන් අද අපි අතර ඉන්නවා. හැබෑටම මොකද මේ අපේ සමාජෙට වෙන්න යන්නෙ? ගෙදර බුදුන් අම්මා කියලා ගරු සම්මාන දීපු මව දැන් ඔයා වෙලා, හලෝ කියලා කතා කරන්න පටන් අරං මදිවට තවත් සමහරු ඌ මූ කියා කතා කරන්නත් පටන් අරන්. දෙමව්පියන් විටෙක තරුණ වයසේ දරුවන්ට බොහොම සමීපව, යහළුවන් මෙන් ලෙංගතුව කටයුතු කරන්නේ ඒ වයසෙදි දරුවන් නොමඟ යන්න තියෙන ඉඩ වැඩි නිසයි. එහෙම කල පලියට ඔවුන් දරුවන්ගෙ තවත් යහළුවෙක් පමණක් ලෙස සලකා අගෞරව වන ලෙස කටයුතු කිරීම සුදුසු නැති බව දරුවො මතක තබා ගත යුතුයි. තමන්ට නෑ කෙනෙක් නොවන වැඩිහිටියන්ට ඇතැමුන් සලකන්නෙ බොහොම පහත් ආකාරයට. කිසි ගරු සරුවක් නැතිව වැඩිහිටියන්ට සැර වැර වෙන, විහිළු කරන දරුවන් සමාජයේ ඕනතරම් ඉන්නවා. කාටවත් කරදරයක් නැතුව පරෙ බැහැලා යන වයසක කෙනෙකුට පවා විහිළු කරන්න තරමට අද දරුවන් මනසින්, ගතිගුණෙන් පිරිහිලා. මේ වෙලාවට බොහෝ දෙනෙක් කරන්නෙ අද සමාජය පිරිහිලා කියල සමාජෙට බැනලා නිකං ඉන්න එකයි.
ටිකක් හිතලා බලන්න. සිංහල ආරෙට අපේ නෑකම් කියනකොට කොයිතරම් පැහැදිලිද, ඒ තුලින් ඉස්මතු වෙන්නෙ අපේකම. හැමෝටම ඇන්ටි, අංකල්, කසින් කියනවට වඩා. නෑ කෙනෙකුට දිය යුතු ගෞරවය එම නෑකම් වල අපූරුවට ගැබ් වෙලා තියෙනවා. මේ දේවල් අපේ දරුවන්ට පුරුදු කල යුත්තේ පුංචි කාලෙ ඉඳලමයි. එය දෙමාපියන්ගෙ වගකීමක් ලෙසටයි අපි නම් දකින්නෙ. දරුවෙක් හදනවා කියන්නෙ ලෝකෙට බිහි කරලා, කවලා පොවලා, පාසල් අධ්‍යාපනය ලබා දීම පමණක් නෙමෙයි. ගුණදම්, සිරිත් විරිත් වලිනුත් දරුවන්ව හරියට පෝෂණය කලොත් තමයි සමාජයට යහපත් පුරවැසියන් බිහිවෙන්නෙ. සමාජය යහපත් වෙන්නෙ. එහෙම නැතුව සමාජය පිරිහිලා කියලා බැන බැන ඉදලා විතරක් හරියන්නෙ නැහැ. සමාජයට යන්න ඉන්න දරුවන්ව ගෙදරදිම හරියට හදලා, සාරධර්ම පුරුදු කරලා සමාජයට යවපු දාට සමාජය යහපත් වෙයි.
බටහිරට ගැති වී කළු සුද්දන් ලෙස හැසිරෙන සිංහල නොදත් සිංහලයින් නොවී, නිවැරදි නෑකම් පවිච්චි කරලා සිංහල කම සහ සිංහල නෑකම් රැක ගන්න තමන්ගෙ පවුල තුලින්ම පටන් ගන්නව නම් ඒක සිංහලයාගේ අනාගතයට ගොඩක් වටිනා ආයෝජනයක් වේවි. අප අතර එකමුතුකම හා අපේකමද වැඩිවේවි.



මෙය මා හට ආ ඊමේල් එකකින් උපුටා ගන්නා ලදී.. 

Wednesday, March 21, 2012

" ලිවු කවි පද දාහක් අතරේ ලියා ගන්නට බැරිව ලතවුනු එක එක දිග පුංචි කවියක්ද............ "








Tuesday, March 20, 2012

සිංහරාජය


සිංහරාජය



මහද්වීප සියල්ල එක්ව පැවැති ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් මිනිස් පහසින් නොකළැල්වු මහා වනයක් ශී‍්‍ර ලංකාවේ වෙයි. එය සිංහලයේ රාජ වනය හෙවත් සිංහ රාජයයි. ලක්දිව විසූ අවසන් සිංහයා තම ආධිපත්‍යය පතුරුවමින් වාසය කළ මහා වනය පසු කලෙක සිංහරාජය ලෙස හැඳින්වූ බවට ද මතයක් තිබේ. මේ සිංහයා මරා දැමීමට භාවිතා කළ බව කියන ගල් සහිත ප‍්‍රදේශය යෝධ ගල්ගොඩ නමින් හඳුන්වන බවත්, සිංයා ජීවත්වූ ප‍්‍රදේශය සිංහගල ලෙසත් සිංහයා විසූ ගුහාව සිංහ ගුහාව ලෙසත් අදටද ව්‍යවහාරයේ පවතී.
ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ. රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි.
සිංහරාජයට ඇතුළුවීම සඳහා මාර්ග හතරකි. කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනිං සයිඩ් මාර්ගය, හිනිදුම නෙළුව මාර්ගය හා දෙනියාය පල්ලේගම මාර්ගය ඒවා වෙයි.
වාර්ෂිකව මිලි මීටර 3000 ත් 5000 ත් අතර වර්ෂාපතනයකි මේ වනාන්තරය වියළි කාලගුණය ඇති සමයක් නොමැති තරම්ය. අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී
දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි.
සිංහරාජ වනාන්තරයේ ප‍්‍රධාන ස්ථර පහකට විහිදුණු ශාක ප‍්‍රජා දැකිය හැකිය. උඩු වියන් ස්ථරය ( බටු නා, වැලිපියන්න, කීන , තිනිය දුන්, බෙරලිය, කිරි හැඹිලිය වැනි ශාක මෙයට අයත් වේ), උප වියන් ස්ථරය (හැඩවක, මලබොඩ, දිය නා, කටමොද වැනි ශාක වලින් සමන්විතය), යටි ස්ථරය (මඩොල්, අතුකැටිය වැනි ශාක මෙහි ඇත), පඳුරු ස්ථරය ( වල් බෝම්බු, පිනිබරු, පෙරතඹල වැනි ශාක විශේෂ වලින් මෙම ස්ථරය සෑදී තිබේ) හා ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක (වල් ගම්මිරිස්, මීවන වර්ග) යනුවෙන් ස්ථරය වශයෙන් පැහැදිලිව වෙන් කළ හැකි මෙම වනාන්තරයේ දැකිය හැකි ශාක රැසක් ලංකාවට ආවේණික වේ. විශාල විවිධත්වයක් පෙන්වන ශාක අතර මුලාවැල්ල, හිනිපිටිගල හා මෝනිං සයිඞ් ප‍්‍රදේශයේ පිහිටි ශාක වල කඳුකර වනාන්තර වල ඇති ලක්ෂණයන්ද දැකගත හැකිවීම විශේෂත්වයකි. සියයට 75 කට අධික ආවේණික ශාකවලින් යුතු සිංහරාජයේ ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් ශාක සිය ගණනක් ඇතැයි පර්යේෂකයෝ පවසති.
ශී‍්‍ර ලංකාවට ආවේණික ශාක සමූහ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තාවී ඇත. වට ප‍්‍රමාණය සෙන්ටිමීර 30 කට වඩා අඩු ශාක විශේෂ වලින් සියයට 60 ක් පමණ ලංකාවට පමණක් ආවේණික ශාකයෝය. . වනය තුළ දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ 340 ක් දැකිය හැකි අතර ඉන් 192 ක්ම ලංකාවට ආවේණිකය. ඉන් විශේෂ 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේම පමණි.
මෙම වනයේ සමස්ථ වෘක්ෂලතා සැළකූ විට එහි ඝනත්වය හෙක්ටයාරයකට ඒකකයන් 240,000 කට අධික බව ගණන් බලා තිබේ. ඉන් සියයට 95 ක්ම බිම් ස්ථරයේ වෙයි.
අතීතයේ සිංහරාජ වනාන්තරයේ අලි බහුලව සිටි බව අවට ගම්වාසීහු පවසති. දැන් අලි ගහණය ඉතා අඩුවී ගොසිනි. රක්වාන ආසන්න වනාන්තර ප‍්‍රදේශයේ සැරි සරන අලි තිදෙනෙකු වරින් වර නිරීක්ෂණය කැර ඇත. දිවියා, ගෝනා,  ඕලූ මුවා, කොළ දිවියා ඇතුළු අතිවිශාල සත්ත්ව ප‍්‍රජාවකට වාස භූමි වී ඇති සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායී විශේෂ 12 න් 08 ක් වාර්තාවී ඇත. පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජ වනාන්තරයේ ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැක. කැහිබෙල්ලා, සුදු ශාරිකාවා, හිස අළු දෙමළිච්චා, බට ඇටිකුකුළා, සිතාසියා, පතිගෝමර තිරාසිකයා ඒ අතරින් විශේෂ කිහිපයකි.
විශේෂ වර්ග 45 කට අයත් උරගයෝ සිටති ඉන් විශේෂ 21 ක් ම ශී‍්‍ර ලංකාවට අවේණිකය. කටුසු වර්ග කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන්ද ඒ අතර වෙයි. අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ දෙක ද සිංහරාජයේදී දැකිය හැකිය.. ඉතා දුර්ලභ මූකලන් කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝදිලිමා ද පුංචි අං කටුස්සාද සිංහරාජයේ තවත් උරග විශේෂ කිහිපයකි.
අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද සිංහරාජයේ වාසය කරයි. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම් වල පස් යට ජීවත් වෙයි. , ක්ෂීරපායීන් 40 ක් පමණ, මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනළ විශේෂ 65 ක් පමණද සිංහරාජ වනාන්නරයෙන් වාර්තාවේ.
ශී‍්‍ර ලංකාවේ ස්වභාවික පරිසරයේ පැවැත්ම කෙරෙහි අතිවිශාල දායකත්වයක් සපයන සිංහරාජ වනාන්තරය අවට ජීවත් වන ජනයාද මෙම වනාන්තරයෙන් ලබා ගන්නා කිතුල්, වේ වැල්, සාදික්කා, පළතුරු, ශාක තෙල් හා දුම්මල වැනි නිෂ්පාදනයන්ගෙන් තම ආර්ථිකය ගොඩනගා ගෙන ඇත..
කලක් රාජ්‍ය අනු‍ග්‍රහය ඇතිව හෙළි පෙහෙළි කැරුණු සිංහරාජ වනාන්තරය ඒ අවට පදිංචි කරුවන් විසින් ආක‍්‍රමණය කර වගා බිම් ඇති කිරීම හේතුවෙන් විනාශවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය දෙස් විදෙස් පර්යේෂකයන්ගේ තෝතැන්නක් වී තිබේ.

සිංහරාජ වනපෙත ඇතුලත දර්ශනයක්

බීජයක් පැලවන ආකාරය

සිංහරාජ වනයේ ඇති මීවන ශාකයක පත‍්‍ර

බෝවිටියා වර්ගයේ ශාකයක්

සිංහ රාජයේතුරු මත වසා සිටින පක්ෂියෙක්

සිංහරාජයේ දිරාපත් වන ශාක කඳක් මත සෑදී ඇති විවිධ හතුවර්ග

මෝනිං සයිඩ් පෙදෙසේ දැකිය හැකි පර්නාංග වලින් ගැවසී ගත් ශාකයක්

කුඩා දිය ඇල්ලක්

කටුසු විශේෂයක්

මහ වැසි ඇද හැලෙද්දී සිංහරාජ වනය ආසන්නයෙන් ගලායන දිය පහර මෙලෙස බොරපැහැ වී ඇත්තේ වනාන්තර විනාශය හේතුවෙන් පස සෝදා යන බැවින

මහ වන මැදින් ගලායන දිය පහරක්

වැසි වැටෙද්දී

බාඳුරා මලක්

සිංහරාජයේ තුරු ලතා

සිංහරාජයේ දැකිය හැකි ශාකයක්

ශී‍්‍ර ලංකාවට ආවේණික කැහිබෙල්ලා නැමැති පක්ෂියා



මෙය මා හට ආ ඊමේල් එකකින් උපුටා ගන්නා ලදී.. 

බුදුගුණාලංකාරය


බුදුගුණාලංකාරය





සිංහල සාහිත්‍ය යනු මූලික වශයෙන්ම බෞද්ධ සාහිත්‍යකි.ආදී සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණකරුවෝ වස්තු විෂය පමණක් නොව ආකෟතිය සදහා මූලාශ්‍ර කර ගන්නේද
බෞද්ධ සාහිත්‍යයයි.මේ අතර බුදු ගුණ වර්නණා කරනු සඳහා විශේෂයෙන් කැපවූ සාහිත්‍ය කෟති පෙලක් අපට හමුවේ.ඒ අතරින් පොළොන්නරු යුගයේ රචිත
බුත්සරණ කෟතිය බුදුගුණ වර්ණනාව කේන්ද්‍ර කරගත් කෟතියකි.කෝට්ටේ යුගයේ 6 වන බුවනෙකබා රජු සමයේ පලවූ තවත් එබඳු බුදුගුණ වැනීමට කැපවූ ග්‍රන්ථයක්නම් බුදුගුණාලංකාරයයි.ක්‍රි ව 1475 දී එනම් මෙයට අඩ සියවසකට පෙර එවක විද්වත් පඬිවරයෙකු වශයෙන් ප්‍රකටව සිටි විදාගම මෛත්‍රෙය හිමියන් විසින් බුදුගුණාලංකාරය රචනා කරන ලද්දේ බුදුගුණ වැයීම සඳහාය.

කය නම් අසාරය-බවනම් බයංකායර
කියනුව දිවාරැය-කියමි බුදුගුණාලංකාරය

යයි පැවසීමෙන් පැහැදිලි වන්නේ මෙය දිවා රාත්‍රී නොකඩවා පරිශීලණය කල යුතු හස්තාර ග්‍රන්ථයක් ලෙස උන්වහන්සේ විසින් රචනා කරන ලද බවයි.මෙම අගනා කෟතිය රචනය මගින් උන්වහන්සේගේ අරමුණ වූයේ වියපත් පඬිවරුන්ට වඩා භක්තියෙන් ඇලලී ගිය සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම බව පෙනේ.කාව්‍ය රචනය සඳහා සරල බස් වහරක් උන්වහන්සේ යොදාගෙන ඇත්තේ එහෙයිනි.පද්‍ය 612කින් සමන්විත මෙම කෟතිය එවක සමාජයේ පැවති විවිධ නිසරු බමුණු ඇඳහිලි හා දේව විශ්වාසයන් දැඩි ලෙස හෙලා දැකීමට උන්වහන්සේ උපයෝගී කරගත්හ.මේ සඳහා කථා වස්තුවක් පාදක කොට ගැනීමෙන් උන්වහන්සේ තුල වූ ප්‍රතිභා ශක්තිය මැනවින් කැපී පෙනේ.බුදුගුණාලංකාරයට වස්තු වූයේ බුදුහිමි අවදියේ විශාලා මහනුවර ඇති වූ මහා සාගතයයි.මෙබඳු ව්‍යසනයකින් ගැලවීමට දෙවියන් යදින්නන් උන්වහන්සේගේ දැඩි උපහාසයට ලක් වූහ.


වඳුරෙකූ පීනූ මුහුද
එතෙරට යා නොහී ඉඳ
ගියෙල රම් හේ බැඳ
මෙසේ වෙද මෙලොව දෙවියන් තෙඳ

විෂ්ණු දෙවියන් හනුමා බඳු වඳුරෙකුට තරම්වත් බලයක් නොවූවෙකු බව මෛත්‍රෙය හිමියන් පවසන්නේ දැඩි උපහාසයෙන් දෙවියෝ නම් දෙව්ලොව වැසියෝය.
ඔවුහු මිනිසාගේ ගද පවා පිලිකුල් කරති.එසේ තිබියදී දිව්‍ය බොජුන් අතහැර මිනිස් වෙසින් දෙන ආහාර පිලිගන්නට ඔවුන් පැමිනේද?

ගහයෝ නම් අඹරදොවියෝය ඌ සුරපුර
නොගනිති අන් අහර-උදක් අමරස මිසක් සුරපුර

සිව් සිය ගම් අසල
වූ නම් නරෝ යම් කල
දෙවියෝ තමන් ගෙල
දැවටී කුණු සේ කරති පිළිකුල

එබඳු දෙව් ලොව සිට
දෙවියෝ අවුත් මෙලොවට
තමන් දුන් අහරට
තුටුව සෙත කර නොයති රැක සිට

අනෙක් අතට මිනිසා දෙන බලි බිලි වලින් යැපෙන්නේනම් නිවට යාචකයන් හා දෙවියන් අතර වෙනසක් නොමැත.


නරලොව දෙන පුදට
රිසිවන දොරින් දොර සිට
සුරනැයි යනු කුමට
දුගී යාචකයන්ට එනිවට

මන්ත්‍ර ජප කරමින් යකැදුරු කමින් බඩවඩාගත් බමුණන් කෝට්ටේ යුගයේ සමාජයේ කැපී පෙනෙන පිරිසක් වූ බව ඇරිටිඨ කී වෙණඩු පෙරුමාල් පිළිබඳ පුවත මෙන්ම සීතාවක බැරැන්ඩි කෝවිලේ නටබුන්ද අපිට සිහිගන්වයි.එබඳු බමුණන් විදාගම හිමියන්ගේ නිර්දය උපහාසයට ලක් වූහ.

බොරුවේ මතුරු බැඳ
වලනන ලෙවන් හැම සඳ
බමුණන්ගෙන් දුලද
වැඩක් වූයේ ලොවට කිකිලද?

බුදුගුණ වැනීම් කරන අතර රාජ්‍ය පාලයනය හා පාලකයන් පිලිබඳවද තම මතය නොවපහා පල කිරීමට උන්වහන්සේ පසුබට නොවූහ.හොද පාලකයෙකු
පිලිබඳ උන්වහන්සේගේ ආකල්පය මෙසේ බුදුගුණාලංකාරයට ඇතුලත් කර තිබේ.

සක බිම පෙරලෙමින්
ගැල බඩු නිසල කරමින්
එවතින මෙන් නොමින්
තුමු දුක් විඳිති සත කරමින්

රොන් අරගෙන සෙමින්
යන බිඟු ලෙසින් කුසුමින්
ලොවට දුක් නොදෙමින්
ගනිති අය පඬුරු පෙර නියමින්

දත් මැදලා දමන
දැහැටි දඬු මෙන් දින දින
තමහෙ ගෙන දනන් ගෙන
පසුව නොදමති නොදන්නන් මෙන


මෛත්‍රෙය හිමියන් විශාලා මහනුවර ව්‍යසනය වර්ණනා කිරීමේදී ඉතා සරල බස් වහරක් මනා හසලතාවයකින් තෝරා ගන්නේ උචිත මනෝභාවයන් පුබුදු කරමිනි.

ගොඩ ගොඩ ඇටසැකිලි
තැන තැන තිබූ බලි බිලි
මග මග රෙදි වැරලි
එපුර ඇම තැන බලත් පිලිකුලි

දොර දොර මිනී බෙර
ගෙයි ගෙයි හඬය බියකර
පිල පිල අදින මර
දුගී ගිලනුන්ගෙන් නැ තවසර

නොලු ගානා තනක්
දියතලු තෙමන පමණක්
නැතිව තුරු සෙවනක්
දුකෙකි සිව්පාවුන්ට දියනක්

අයෙක් රට වැස්සෝ
වට ලූය දැසි දැස්සෝ
ඌය පෙර නිස්සෝ
දැනුත් වටලා දුවති මැස්සෝ

විශාලා මහනුවර මහා සාගතියෙන් ගලවා ගැනීම සදහා බමුණන් උපයෝගී කරගත් ක්‍රමවේදවල නිරර්ථක බව හෙලිකොට බුදුහිමියන්ගේ ගුණ කඳ වරණනා කිරීමට
මෛත්‍රෙය හිමියෝ මඟ පාදා ගනිති.අතිශෝක්තියෙන් හා සාහිත්‍යෝක්තියෙන් බරවුවද බුදුහිමියන් පිළිබඳව කරන විස්තරය සඳහා පද්‍ය 200කටත් වඩා වැඩි සංඛ්‍යාවක් යොදාගෙන ඇත.

කින් යස කොත් දස දික් දිගු යටග බඳ
තර්මත් මහනෙත් පාමුල මත නෙරිඳු සඳ
සෙත් කල මුණි සඳ හැම කවි පෙදෙන් බැඳ
සත් වැඩ වස් මෙද කලෙ මෙසේ සිහින් නද

යනුවෙන් කෟතියේ කතෟත්වය හෙලි කරන වීදාගම හිමියෝ මෙලී සිතින් බුදුවෙම්වා තිලොගුරු යනුවෙන් ප්‍රාර්ථනා කරති.‍






මෙය මා හට ආ ඊමේල් එකකින් උපුටා ගන්නා ලදී..